Wednesday, June 21, 2017

සරසවි සිසුන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිමු!




"නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවාව ‍රැකගනිමු " යන්න ප්‍රමුඛ සටන් පාඨය කර ගනිමින් නෙවිල් ප්‍රනාන්දුගේ සයිටම් හොර උපාධි කඩයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හා වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමි‍ටුවේ  මෙහෙයවීමෙන් දිවයිනේ සියලු විශ්ව විද්‍යාලවල  සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් අද දින ( ජූනි 21 ) පැවත්වූ පා ගමනට  ඊනියා යහපාලන ආණ්ඩුව විසින් පොලිසිය හා විශේෂ කාර්ය බලකාය යොදවා කළ ම්ලේච්ඡ හා නින්දිත පහරදීම "නිදහස් අධ්‍යාපනය උදෙසා වෘත්තියවේදින්" දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකියි.

පොලිසිය, විශේෂ කාර්ය බලකාය හා කැරළි මර්ධන හමුදා යොදවමින් නිරායුධ සිසුන්ට එල්ල කළ බැටන් හා අධි පීඩන ජල ප්‍රහාර වලින්  සිසු සිසුවියන් සියයකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබූ අතර ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට යැයි කියමින් බලයට  පැමිණි යහපාලක නඩය විසින් කරනු ලබන මෙම ම්ලේච්ඡ ප්‍රහාර තුලින් යලි යලිත් ඉස්මතු වෙන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් කෙරෙහි පාලකයින් දක්වන තුච්ඡ ආකල්පයයි.බැටන් ප්‍රහාර, කඳුලු ගෑස් හෝ වෙඩි උණ්ඩ වලින් ජනතාවගේ සාධාරණ අරගල මර්ධනය කිරීමට  ආණ්ඩුව සිතන්නේ නම් එය බරපතල වරද්දාගැනීමක් බව අප ආණ්ඩුවට මතක් කර දෙමු.




මෙරට පොදු ජනතාවට ඉතුරුව ඇති එකම වත්කම වන නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යයට තර්ජනයක් එල්ලවන විට එයට එරෙහිව සෑම විටම පෙරමුණ ගනිමින් සටන් කළේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය වන අතර වර්තමානයේ ද අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිව ඔවුන් කරගෙන යනු ලබන අරගලයට නිදහස් අධ්‍යාපනයේ ඵල ලැබූ වෘත්තීයවේදින් වන අපගේ සහෝදරාත්මක සහයෝගය පිළිගන්වන අතර සැම විටම ඔවුන් හා එක් වෙමින් මෙම අරගලය ජයග්‍රහණය කරා මෙහෙයවීමට අපගේ උපරිම සහයෝගය ලබා දෙන බවද මෙයින් ප්‍රකාශ කර සිටිමු.

මේ අවස්ථාවේදි ශිෂ්‍ය ව්‍යාපාරය අරගලය තුල හුදකලා නොකර ,ඔවුන් වටා එක්වෙමින් ,ඔවුන්ට ලබා දිය යුතු ධෛර්ය හා සහය ලබා දීම  සියලු ලාංකීය වෘත්තිකයන්ගේ , නිදහස් අධ්‍යාපනයෙන් ඵල ලැබූ සියලු වෘත්තිකයන්ගේ හා සියලු ශ්‍රී ලාංකික ජනතාවගේ වගකීම වන බවද අප අවධාරණය කර සිටිමු.එසේම මෙම තීරණාත්මක අවස්ථාවේදී විවිධ අභූත හේතු දක්වමින් අරගලයෙන් පලා යාමට උත්සාහ නොකර අප භුක්ති විඳි නිදහස් අධ්‍යාපනය රටේ මතු පරම්පරාවන්ටත් උරුම කර දීමේ මෙම අරගලය ශක්තිමත් කිරීමට එක් වන මෙන් අප සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමු.



                   සයිටම් වෙද කඩය අහෝසි කරනු 
                   නිදහස් අධ්‍යාපනය සුරකිනු.

                               ------නිදහස් අධ්‍යාපනය උදෙසා වෘත්තියවේදින්-----
                                               

No comments:

Post a Comment