Saturday, June 17, 2017

සයිටම්; වෛද්‍ය අධ්‍යාපනයේ අනාගත ව්‍යසනය




ඕනෑම රටක ස්‌ථාපිත වෛද්‍ය සභාවක්‌, වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු යෑයි සම්මත කර ගත් අවම ප්‍රමිතිය නොපවතින්නේ නම් රාජ්‍ය හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ ලියාපදිංචි කිරීම තරයේම ප්‍රතික්‍ෂේප කරනු ලැබේ. වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිව සිටි කාල පරිච්ඡේදයේදී වෛද්‍ය සභාවේ මෙම මතයට හිස නමමින් "සයිටම්" හි අඩුපාඩු සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක්‌ පත් කරන ලද අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ් මහතා ඇතුළු කමිටුව පත් කිරීමට පියවර ගත්තේය. මෙම කමිටු වාර්තා දෙක මඟින්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මතය එක හෙළාම සහතික කරන ලද අතර මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ් මහතාගේ කමිටු වාර්තාව මින් ඉතා වැදගත් වාර්තාවක්‌ ලෙස සැළකිය හැක. "සයිටම්" සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා ඕනෑම අයකු මෙම වාර්තාව මැනවින් අධ්‍යයනය කළ යුතුය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, රජයේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය පීඨ ශීෂ්‍යයන් සමාජයට දැනෙන තරමින් නොවූවත් වරින් වර පත්වූ සෞඛ්‍ය අමාත්‍යවරුන් සම`ග මෙම ගැටලුව විසඳා ගැනීමට ඔවුන්ගේ පාර්ශවයෙන් කළ හැකිව තිබූ සෑම දෙයක්‌ම කරමින් පසුවූහ. කෙසේ නමුත් වර්තමානය වන විට මෙම ගැටලුව අධිකරණය දක්‌වා යැම තුළ 2010 වසරේ පටන් ඉහත පාර්ශව නිහඬව ගෙන ගිය මෙම සටනට අලුත් මුහුණුවරක්‌ සහ උද්වේගකාරී බවක්‌ ලැබී තිබේ. මන්ද අධිකරණයකින් ලැබෙන තීන්දුව තීරණාත්මක වන බැවිනි. මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ඔවුන් සැබවින්ම 2010 වසරේ සිට කටයුතු කරමින් සිටි ආකාරය නොදන්නා බොහෝ පිරිසක්‌ වටහා ගෙන ඇත්තේ එදා නිශ්ශබ්දව සිට අද හදිසියේම මෙම සටනට උරදී ඇති බවකි. නමුත් සත්‍යය එය නොවේ.

මෙම අර්බුදයේදී අති විශාල කැප කිරීමක්‌ කරනු ලබන්නේ රජයේ වෛද්‍ය පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ය. රාජ්‍ය වෛද්‍ය පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන් මධ්‍යම පන්තිය හෝ ඊට අඩු පන්තියක්‌ නියෝජනය කරන දරුවන්ය. තවත් ආකාරයට කියනවා නම් කුඩාකල පටන් තම දෙමාපියන්ගේ දුක දැන හඳුනාගෙන ඒ නිසාම වැර වීරිය දරමින් අධ්‍යාපනය හදාරා කුසලතාවය මතම වෛද්‍ය පීඨයට පැමිණි දරු දැරියන් පිරිසකි. ඔවුන් වෛද්‍ය පීඨයට පැමිණි පසු අවබෝධ කර ගන්නා කාරණයක්‌ තිබේ. එනම් තමා වැනි දරුවකුට මෙවැනි තැනකට ඒමට හැකි වූයේ මෙරටේ තවමත් සුරැකිව පවතින නිදහස්‌ අධ්‍යාපනයට පිං සිදු වන්නට බවයි. ඔවුන් අවබෝධ කර ගන්නා නිදහස්‌ අධ්‍යාපනය "සයිටම්" පාර්ශවයේ සිටගෙන සිටිනා දේශපාලඥයන් ව්‍යාජ ලෙස විග්‍රහ කරන නිදහස්‌ අධ්‍යාපනය නොවේ. තමා වෙනුවෙන් එතෙක්‌ සුරැකිව පැවැති එම නිදහස්‌ අධ්‍යාපනය තවමත් පාසලකට ඇතුළත් නොවූ තම සහෝදර සහෝදරියන් වෙනුවෙන්ද ආරක්‍ෂා කර තැබීමට ඔවුන් තිරව අදිටන් කර ගැනීම සාධාරණය. සැබවින්ම ගත් විට අද රජයේ වෛද්‍ය පීඨවල පළමු වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකුට වුවද තමාට රැකියාව හිමිකර ගැනීම වෙනුවෙන් "සයිටම්" අභියෝගයක්‌ නොවේ. එවැනි තත්ත්වයක්‌ තුළ ඔවුන් මේසා කැපවීමක්‌ කරමින් සටන් කරනුයේ අනාගතයේ යම් දිනක වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට කුසලතාවය ඇති තම සහෝදර සහෝදරියන් වෙනුවෙන් බව ඉතා පැහැදිලිය.

වෛද්‍ය ක්‍ෂේත්‍රයේ විද්වතුන් මෙන්ම මෙරට බුද්ධිමතුන් ද ''සයිටම්''වලට එරෙහිව කරුණු කාරණා ඉදිරිපත් කළේ අද ඊයේ නොවේ. රජයේ වෛද්‍ය පීඨයකට හෝ රජයේ වෛද්‍ය වෘත්තියට කිසිදු සම්බන්ධයක්‌ නැති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය මහතා රචිත "පෞද්ගලික විශ්වවිද්‍යාල විලාසිතාවය සහ යථාර්ථය" පොත තුළින් පොදුවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් රටකට වන අයහපත ගැනද එමෙන්ම "සයිටම්" හි වංචනික පටන්ගැන්මේ පටන් අද දක්‌වා එය රැකගැනීමට කරන වංචනික ප්‍රයෝගයන් ගැනද මැනවින් කරුණු දක්‌වා ඇත. ඔහුට අනුව,

"දියුණු රටවල ලාභ අපේaක්‍ෂිත පුද්ගලික විශ්වවිද්‍යාල ඇත්තෙන්ම නැති තරම් වන අතර, ඒවා දැකිය හැකි වන්නේ නීතියක්‌, ප්‍රමිතියක්‌ හෝ වර්ධික අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ නැති දුප්පත් රටවල් අතලොස්‌සකයි."

"ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාලයක්‌ ආරම්භ කිරීම සහ පවත්වාගෙන යැම සම්බන්ධයෙන් වූ ඉතාමත්ම දීර්ඝ සහ විස්‌තරාත්මක කොන්දේසි මාලාවක්‌ සංග්‍රහ කොට නීති ගත කොට තිබියදීත්, එරට මේ වන විට පුද්ගලික වෛද්‍ය විද්‍යාල ක්‍රියාත්මක වෙමින් ඇත්තේ, ඒ සියලු නීතිමය විධිවිධානයන්ගෙන් සූක්‍ෂ්ම ලෙස රිංගමින් ඉතාමත්ම වංචනික ආකාරයෙන් බව ලෝකයේ කීර්තිමත් මාධ්‍ය ආයතන දෙකක්‌ වන NDTV සහ රොයිටර්ස්‌ ආයතන ගවේෂනාත්මක වැඩසටහන් ගණනාවක්‌ ම`ගින් සාක්‍ෂි සහිතවම පෙන්වා දී ඇත.''

"සයිටම්" ඇතුළුව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට ස්‌ථාපිත කිරීම තුළ රජය පෙන්වා දෙන තරම් රටට ඵලදායීත්වයක්‌ හිමි නොවන බව බුද්ධිමතුන්ගේ අදහසයි. මෙරට ශිෂ්‍යයන් පිටරට නොගොස්‌ මෙරටම වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම තුළ පිටරටට ඇදී යන විදේශ මුදල් මෙරට රඳවා ගත හැකැයි මතයක්‌ ඇති නමුත් හුදු සමාජ සේවයක්‌ මත නොව ලාබ ලැබීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන විදේශීය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එයින් ජනිත වන ලාභය එරටට රැගෙන යන තත්ත්වයක්‌ තුළ සැබෑ ලෙසම මෙරටට සැළකිය යුතු විදේශ විනිමයක්‌ ඉතුරු වෙයිද? යන පැනය විමසා සිටින ඔවුන් පහත සඳහන් කරුණු කෙරේ අවධානය යොමු කරති.

01. ''සයිටම්'' ආයතනය වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ලබාදෙන ඉහළ වැටුප් සහ දීමනා මත රජයේ වෛද්‍ය විද්‍යාලවල සිටින දක්‍ෂ කථිකාචාර්යවරුන් එම ආයතනවලට ඇදීයැම නොවැළැක්‌විය හැකි හේතුවක්‌ වන බැවින් තවදුරටත් රජයේ වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යාමේ දැඩි අසීරුතාවක්‌ අනාගතයේදී ඇතිවනු ඇත. දැනගැනීමට ඇති පරිදි ජයවර්ධනපුර වෛද්‍ය පීඨයට පමණක්‌ එවැනි දක්‍ෂ කථිකාචාර්යවරුන් මේ වන විට පහළොවක්‌ පමණ අහිමි වී තිබේ. නැඟෙනහිර සහ රජරට වෛද්‍ය පීඨවල දැනට පවතින ගුරු හි`ගය පියවනවා වෙනුවට ''සයිටම්'' වෙනුවෙන් පෙනී සිටින මැති ඇමැතිවරුන් නිරන්තරයෙන් පවසනුයේ නැගෙනහිර සහ රජරට වෛද්‍ය පීඨවලට වඩා ''සයිටම්'' ඉහළ තත්ත්වයක පවතින බවය.

02. ලාභ ලැබීමේ අරමුණින් ආරම්භ කරන එකිනෙක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අතර තරගයක්‌ ඇතිවීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත. මෙහිදී තමන් වෙත සිසුන් ආකර්ෂණය කර ගැනීමට ඔවුන් පාඨමාලා ගාස්‌තුවේ සිට නොයකුත් ක්‍රම අනුගමනය කිරීමට පෙළඹේ. එමෙන්ම වෛද්‍ය අධ්‍යාපනය බලාපොරොත්තු වන සිසුවාටද MBBS උපාධිය මිස එහි ගුණාත්මකභාවය වැදගත් නොවනු ඇත. එම නිසා ශිෂ්‍යයන් ද තෝරා ගන්නේ අඩු පිරිවැයකින් MBBS උපාධිය ලබාදෙන වෛද්‍ය ආයතනයයි. මේ තුළ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සුරැකේද? ගුණාත්මකභාවය කෙසේ වෙතත්, සෑම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ම තම ආයතනයේ වෛද්‍ය උපාධියට අදාළව අවසන් පරීක්‍ෂණය සමත් වන සිසුවාට උසස්‌ ප්‍රතිඵලයක්‌ සමඟ උපාධිය පිරිනමා පිටකරනු ලබන්නේ තම ආයතනයේ කීර්ති නාමය හා පැවැත්ම සළකා ගෙනය. නමුත් එසේ ඉහළින්ම සමත් වන සිසුවා වෛද්‍ය වෘත්තියට කෙතරම් ගැළපෙනවාද යන්න සිතා ගත හැක්‌කේ මාලබේ ''සයිටම්'' ආයතනයේ අධ්‍යාපනය ලබා වෛද්‍ය උපාධියට අදාළව ඔවුන්ම පැවැත්වූ අවසන් පරීක්‍ෂණය සමත් සිසුන්ගේ ප්‍රතිඵල හොඳින් සමීක්‍ෂණය කිරීමෙනි. එම ආයතනයේ අවසන් වසර විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 63% ක්‌ පමණ දෙවන පංතියේ ඉහළ සාමාර්ථය ලබා ඇත. නමුත් රජයේ වෛද්‍ය විද්‍යාලයක අවසන් වසර විභාගයෙන් වරකට එහි ප්‍රථම පංතියේ සාමාර්ථයක්‌ ලබා ගන්නේ සිසුන් දෙදෙනකු වගේ සංඛ්‍යාවක්‌ වන අතර දෙවන පංතියේ ඉහළ සාමාර්ථයක්‌ ලබාගන්නේ සාමාන්‍යයෙන් 10% ක ප්‍රතිශතයකි. ඉහත ප්‍රතිශතයන් සසඳා බැලීමේදී රජයේ වෛද්‍ය විද්‍යාලයක අවසන් වසර විභාගයේ දෙවන පංතියේ ඉහළ සාමාර්ථයක්‌ ලබාගන්නා පිරිස එවැනි අඩු ප්‍රතිශතයක පැවතීම මඟින් වටහා ගත යුත්තේ වෛද්‍යවරයකු සතුව තිබිය යුතු ගුණාත්මක බව හොඳින්ම ඇගයීමට උත්සාහ කරන බව නොවේද? අනෙක්‌ අතට රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රජයේ රෝහල්වල ක්‍රමවත් සායනික පුහුණුවක්‌ සඳහා යොමු කරවනුයේ තමන් සෛද්ධාන්තික අධ්‍යාපනය ලබන වසරට සමගාමීවයි. සෛද්ධාන්තික සහ සායනික යන පුහුණු දෙකම එකිනෙකට සමගාමීව ලබාගැනීම තුළ ලබන ගුණාත්මකභාවය, මනුෂ්‍ය ශරීරයට වැලඳෙන සියලුම රෝග සහිත රෝගීන් සහ හදිසි අනතුරු රෝගීන් නොමැති වූ රෝහලකින් පුහුණුව ලබන ''සයිටම්'' ශිෂ්‍යයන් තුළ පවතී ද යන්න විමසා බැලිය යුතුව ඇත. රජයේ වෛද්‍යවරුන්, වෛද්‍ය පීඨ ශිෂ්‍යයන් සහ බුද්ධිමත් රටට ආදරය කරන පි§සගේ නොනවතින අරගලය හමුවේ "සයිටම්" හි අවසන් වසර සමත් සිසුන් පවා වෛද්‍යවරයකු සේ සැළකිය හැකි තත්වයට ගෙන ඒමට මේ වනවිට නොයෙකුත් යෝජනා ඉදිරිපත් වී ඇත. මෙසේ නොවන්නට ''සයිටම්'' සිසුන් මෙම ඌණ පූර්ණය සහිතවම රජයේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වීමට අධිකරණ නියෝගයක්‌ පවා මේ වන විට ලබාගෙන තිබීම කෙතරම් අවධානම් සහිත තත්ත්වයක්‌ද?

03. ඕනෑම අයකුට මනෝමය වශයෙන් නොයෙකුත් සැළසුම් සකස්‌ කරමින් එම සැළසුම් ක්‍රියාත්මක වන්නේ නම් තවදුරටත් මෙපමණ සංඛ්‍යාවක්‌ වෛද්‍ය වෘත්තියේ ඇබෑර්තු ඇතැයි අනුමාන කළ හැකිය. එහෙත් රටකට පවතින ආර්ථික හැකියාව අනුව සාමාන්‍යයෙන් රජයකට වසරක්‌ තුළදී සත්‍ය වශයෙන්ම ලබාදිය හැකි පත්වීම් ප්‍රමාණය මත පවතින ඇබෑර්තු සංඛ්‍යාව තීරණය කළ යුතුය. වෛද්‍ය වෘත්තියට අදාළව විද්වත් ආයතනයක්‌ මේ වනවිටත් එක්‌රැස්‌ කර ඇති දත්ත අනුව කිසිදු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ ආරම්භ නොවන තත්වයක්‌ තුළ වුවද, රාජ්‍ය වෛද්‍ය පීඨවලින් වසරකට පිටවන වෛද්‍ය සිසුන් සංඛ්‍යාව සහ විදේශීය විභාග සමත්ව පැමිණි සිසුන් සංඛ්‍යාව අනුව දැනටමත් වෛද්‍ය වෘත්තියේ අතිරික්‌තයක්‌ ඇති වෙමින් පවතින අතර තව වසර දෙක තුනක්‌ තුළ මෙය වෛද්‍ය ක්‍ෂේත්‍රයට දැනෙන තරමේ ප්‍රශ්නයක්‌ වනු ඇත. මෙවැනි තත්වයක්‌ තුළ තවත් එක්‌ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ හෝ ඇති කරන්නේ නම් නුදුරු අනාගතයේදී වසර පහක්‌ පමණ දුෂ්කර අධ්‍යාපනයක්‌ හමාර කිරීමෙන් පසුව වුවද අනාගත වෛද්‍ය ශිෂ්‍යයන්ට සීමාවාසික පුහුණුව සඳහා වසර කීපයක්‌ පොරොත්තු ලේඛනයේ සිටීමටත් නැවත තම පත්වීම ලබා ගැනීමට පෙර MBBS උපාධිධාරියකු ලෙස තවත් වසර කිහිපයක්‌ රැකියා විරහිතව කල් ගෙවීමටත් සිදුවන තත්වය නොවැළැක්‌විය හැකිය. 


http://scholar.sjp.ac.lk/anuruddha/publications/private-universities-pudgalika-vishwawidyala-vilasithawa-saha-yatharthaya
ඒ.එන්. වීරසූරිය

 http://www.divaina.com/2017/06/18/feature34.html

No comments:

Post a Comment