Sunday, June 11, 2017

සයිටම් ඕනෑ ජනතාවටද? ලමාබදුසූරියට පිළිතුරක්‌




සයිටම් ඕනෑ ජනතාවටයි' යන මැයෙන් 'දිවයින ඉරිදා සංග්‍රහයේ' (2017.05.28) පළ කෙරුණු ලිපිය මඟින් මහාචාර්ය සනත් ලමාබදුසූරිය මහතා විසින් මෙම කරුණ විමසා බැලීමට ගෙන ඇති උත්සාහය පැසසුම් කටයුතු වන්නේ එබැවිනි. එහෙත් එහි සදොස්‌ තැන් ගණනාවකි. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි හිටපු පීඨාධිපතිවරයකු වශයෙන් එතුමන් කරන ප්‍රකාශයන්ට වැඩි බරක්‌ හිමිවන බැවින් එම ලිපියේ එකී සදොස්‌ තැන් නිවැරදි කරමින් එයට ඌණ පූරණයක්‌ එක්‌ කිරීම මෙම ලිපියේ අරමුණයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මට්‌ටමින් සයිටම් ගැන සංවාදයක්‌ නොවූ තරම්ය. අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් 6% ක්‌ වෙන්කළ යුතු යෑයි උද්ඝෝෂණය කරන විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය ද පුදුමයකට මෙන් මේ සම්බන්ධයෙන් මුනිවත රකී. එනිසා මෙහි ඉදිරිපත් කරන කරුණු තවදුරටත් සංවාදයට භාජනය වන්නේ නම් එය වඩාත් උචිතය.

සයිටම් ජනතාවගේ අවශ්‍යතාවක්‌ ද නැද්ද යන්න විමසා බැලීමේදී පළමුකොටම, ජනතාව යන්නෙන් අදහස්‌ කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක්‌ තිබිය යුතුය. බලු ආහාර (Dog foods) වල මිල අඩුකිරීම ජනතා අවශ්‍යතාවක්‌ නොවේ. ඒ ඇයි? සුපර්මාර්කට්‌වලට ගොස්‌ බල්ලන්ටම පමණක්‌ වෙන්වූ පිළියෙළ කළ ආහාර මිලදී ගනු ලබන්නේ මේ රටේ පුරවැසියන්ගෙන් කොපමණ ප්‍රතිශතයක්‌ ද කුමණ පන්තියක පිරිසක්‌ද යන කරුණු සොයා බැලීමේදී මෙයට පිළිතුරු පැහැදිලි වනු ඇත. බලු ආහාර මිලදී ගන්නවුන් ජනතාව නොවේ නම් ඔවුන් අමනුස්‌සයන් දැයි යමෙකුට පෙරළා ප්‍රශ්න කළ හැකිය. ඔවුන් ද මනුස්‌සයන් බව සැබෑවකි. එහෙත් 'ජනතාව' යනුවෙන් සඳහන් කරන විට ඉන් අදහස්‌ වන්නේ බහුතරයක්‌ වූ පොදු ජනතාව මිස ජනගහනයෙන් ඉතා සුළු ප්‍රතිශතයක්‌ වූ සුවිශේෂී පන්තියකට අයත් වූවන් නොවේ. එබැවින් ජනතාවට යමක්‌ ඉදිරිපත් කරන්නේ නම් එය පොදු ජනතාවට විය යුතුය. 'පොදු කපුටා' කළු පැහැති වන්නාසේම 'පොදු බැටළුවා' සුදු පැහැතිය. එහෙත් සුදු කපුටන් මෙන්ම කළු බැටළුවන් ද ඉඳහිට සොයාගත හැකිය. එබැවින් සොයා බැලිය යුත්තේ සයිටම් පොදු ජනතාවගේ අවශ්‍යතාවක්‌ ද නැතහොත් සුළුතරයක්‌ වූ සුපිරි පෙළැන්තියේ අවශ්‍යතාවක්‌ ද යන්නයි.

සයිටම් වෙතින් වෛද්‍ය උපාධියක්‌ ලබාගැනීම සඳහා වැය කළ යුතු මුදල සංසන්ධනාත්මකව සලකා බැලීමේදී එම කරුණ පැහැදිලි වනු ඇත. සයිටම් සඳහා එක්‌ සිසුවකු වෙනුවෙන් වැයකළ යුතු මුදල රුපියල් ලක්‌ෂ අනූ අටක්‌ වශයෙන් මහාචාර්යතුමන් සඳහන් කරන කරුණ දෝෂ සහිතය. අද වන විට සයිටම්හි පාඨමාලා ගාස්‌තුව වාර්ෂිකව ගෙවන විට වැය කරන්නට වන මුළු මුදල ඊට වඩා බෙහෙවින් වැඩිය. එපමණකුදු නොවේ. එකී පාඨමාලා ගාස්‌තුවට අමතරව නවාතැන්, කෑම බීම සහ පොත්පත් සඳහා ද විශාල මුදලක්‌ වැයකිරීමට සිදුවේ. අනෙක්‌ අතට සයිටම් සඳහා ගෙවිය යුතු මුදල සමඟ වෙනත් රටවල් වලින් වෛද්‍ය උපාධිය ලබාගැනීම සඳහා වැයකිරීමට සිදුවන මුදල සංසන්ධනය කිරීමේදී මහාචාර්ය ලමාබදුසූqරිය මහතාට වැදගත්ම රටක්‌ අමතක වී ඇත. එනම් මේ වන විට ඉංග්‍රීසි මාධ්‍යයෙන් වෛද්‍ය උපාධි හැදෑරීම සඳහා වසරකට සිසුන් වැඩිම පිරිසක්‌ තෝරා ගන්නා රට වන චීනයයි. එරටින් වෛද්‍ය උපාධිය හදාරා මෙරටට පැමිණීම දක්‌වා පාඨමාලා ගාස්‌තු හා කෑමබීම, නවාතැන්, පොත්පත් හා ගමන් ගාස්‌තු ආදී වශයෙන් වැයවන සමස්‌ත මුදල ගත් විට එය සයිටම් වෙතින් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කර ගැනීම සඳහා එලෙස වැයවන සමස්‌ත මුදලෙන් හරි අඩකටත් වඩා අඩුය. එසේ වූ පමණින් එම උපාධියේ ප්‍රමිතියෙහි අඩුවක්‌ ද නැත. විදේශයන්ගෙන් වෛද්‍ය උපාධි ලබා එන සිසුන් හට මෙරටදී පවත්වන විභාගයේ ප්‍රතිඵල අනුව එය පැහැදිලිවම පෙනී යනු ඇත.

මෙයින් පෙනී යන්නේ කුමක්‌ද? උසස්‌ පෙළ විභාගය සමත්ව වෛද්‍ය උපාධිය හැදෑරීමට අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කළ එහෙත් රජයේ වෛද්‍ය පීඨයන්ට නොතේරුණු සිසුන් අතරින් ආර්ථික ශක්‌තිය අඩු අයට චීනය වැනි රටවල් පිහිට වෙද්දී ආර්ථික ශක්‌තියෙන් ඉහළ පිරිස වෙනුවෙන් පමණක්‌ සයිටම් පෙනී සිටින බව නොවේද? මේ අනුව ශ්‍රී ලංකාවේ පොදු ජනතාවට තරමක්‌ දුරට හෝ සමීප වන්නේ ලංකාවේ සයිටම් ද නැතහොත් චීනයේ හෝ වෙනත් රටක වෛද්‍ය විද්‍යාලයක්‌ ද යන්න මෙයින් පැහැදිලි වනු ඇත. සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මේ රටේ පිහිටුවීමෙන්, වෛද්‍ය උපාධි සඳහා සෑම වසරකම මෙරටින් පිටරටට ඇදී යන සුවිශාල මුදල මේ රටේ රඳවාගත හැකි බවට මහාචාර්ය ලමාබදුසූරිය මහතා ඉදිරිපත් කරන තර්කය මේ අනුව අභියෝගයට ලක්‌වන බව ද පැහැදිලි වනු ඇත.

මෙරටට ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැති බව සංඛ්‍යා ලේඛන වලින් පෙනී යන සත්‍යයකි. එබැවින් තවත් වෛද්‍ය පීඨ අවශ්‍ය බවත් එහිදී වෛද්‍ය පීඨ තවදුරටත් අලුතින් ඇතිකිරීම රජයට පමණක්‌ තනිව සිදු කිරීම අපහසු බැවින් ඒ සඳහා පුද්ගලික අංශයට ඉඩදිය යුතු බවත් මහාචාර්ය ලමාබදුසූරිය මහතා සඳහන් කරයි. මෙය විමසිල්ලට ලක්‌කිරීමේදී කරුණු 2 ක්‌ ගැන සොයා බැලිය යුතුවේ. එනම් අලුතින් වෛද්‍ය පීඨ ආරම්භ කිරීම රජයට කළ නොහැකි ද යන්න සහ වෛද්‍ය පීඨ ආරම්භ කර පවත්වාගෙන යැම සඳහා පුද්ගලික අංශයට ඉඩදීමේ වරදක්‌ නැති ද යන කරුණු දෙකයි. රජයට තනිවම තවදුරටත් වෛද්‍ය පීඨ ඇති කිරීම අපහසුය යන්න පිළිගත නොහැකි කරුණකි. අඩුවශයෙන් මුදල් අයකරන පදනමින් හෝ රජයට තවත් වෛද්‍ය පීඨ ඇති කිරීමට හැකිවිය යුතුය. මෑතකදී හෝමාගම පිහිටවනු ලැබූ හරිත විශ්වවිද්‍යාලය එලෙස මුදල් අයකර උපාධි පිරිනමන එහෙත් රජයට අයත් විශ්වවිද්‍යාලයකි. එය ඉදිකිරීමට වැය වූ මුදල රුපියල් බිලියන 12 ඉක්‌මවයි. මුදල් අයකරන උපාධි පාඨමාලා පවත්වාගෙන යැම අරමුණු කරගත් බැවින් දේශීය ණය මඟින් එකී මුදල සපයාගෙන ඇත. දැනට රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයකින් වෛද්‍යවරයකු බිහිකිරීමට රජයට වැය වන්නේ රුපියල් ලක්‌ෂ 6 කට ආසන්න මුදලකි. ගොඩනැඟිලි ඇතුළු යටිතල පහසුකම් සඳහා යන වියදම හැරුණු විට අනෙකුත් සියලුම වියදම් ඊට ඇතුළත්ය. එබැවින් තවත් වෛද්‍ය පීඨ එකක්‌ හෝ කිහිපයක්‌ ඇති කිරීම හෝමාගම ඇතිකළ හරිත විශ්වවිද්‍යාලයට වඩා බෙහෙවින් අඩු මුදලකින් සිදුකළ හැකිය. එබැවින් රජයට පමණක්‌ එය සිදුකළ නොහැකිය යන්න පිළිගත හැකි කරුණක්‌ නොවේ.

පෞද්ගලික අංශයට වෛද්‍ය විද්‍යාල ඇති කොට පවත්වාගෙන යැම සඳහා ඉඩදීමේ වරදක්‌ නැති ද යන කරුණ මීළඟට සලකා බලමු. මේ වන විට වෛද්‍ය හා දන්ත වෛද්‍ය උපාධිය හැරුණු විට අන් ඕනෑම විෂය ක්‌ෂේත්‍රයකින් උපාධියක්‌ ලබාගැනීමට අවශ්‍ය උපාධි පාඨමාලා මෙරට තුළ පෞද්ගලික අංශය විසින් පවත්වාගෙන යනු ලැබේ. එසේ නම් වෛද්‍ය උපාධියට පමණක්‌ විශේෂයක්‌ ඇයි යන ගැටලුව යමෙකුට මතුකළ හැකිය. අනෙක්‌ සියලු උපාධිධාරීන්ට වඩා වෛද්‍ය උපාධිධාරීන් විශේෂ වන්නේ රටේ ජනතාවගේ ජීවිත ඔවුන් වෙත සෘජුවම භාරදෙන බැවිනි. එනිසා අන් සියලු උපාධි පාඨමාලා පවත්වාගෙන යැමේදී වඩා වෛද්‍ය පීඨ පවත්වාගෙන යාමේදී සැලකිල්ලිමත් විය යුතුය. එවැන්නක්‌ පෞද්ගලික අංශයට පැවරුණු සැනින් එය ලාභය අරමුණු කරගත් ව්‍යාපාරයක්‌ බවට පත් වේ. ලාභයට මුල් තැන දෙන විට ප්‍රමිතියක්‌ පවත්වා ගැනීම අපහසුය. ලාභයත් ප්‍රමිතියත් දෙකම ඉහළ මට්‌ටමකින් පවත්වා ගැනීමට නම් අධික ගාස්‌තුවක්‌ අය කිරීමට සිදුවේ. එවිට එය සුපිරි පැළැන්තියට සීමා වුණු පොදු ජනතාවගෙන් වඩාත් ඈත් වූ ආයතනයක්‌ බවට පත්වේ.

එවැන්නක්‌ කොටස්‌ වෙළෙඳපොළට විවෘත කළ පමණින් ප්‍රශ්නය නොවිසඳේ. කොටස්‌ මිලදී ගැනීම හරහා ඕනෑම අයකු කරනු ලබන්නේ වැඩි ලාභයක්‌ ලැබීම සඳහා තමන්ගේ මුදල් ආයෝජනය කිරීමයි. තනි පුද්ගලයකුගේ සූරාකෑමකට ලක්‌වන පිරිසක්‌, කණ්‌ඩායමකගේ සූරාකෑමකට යටත් වීම මිස අන්කිසි වෙනසක්‌ ඒ තුළ සිදු නොවේ. ඒ අතර තුර රජයේ විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය පීඨවල දක්‌ෂ ආචාර්යවරුන් එවැනි පෞද්ගලික වෛද්‍ය පීඨ විසින් 'මිලට ගැනීම' හේතුකොට ගෙන රජයේ වෛද්‍ය පීඨ පවත්වාගෙන යැම අපහසු විය හැක. මහාචාර්ය ලමාබදුසූරිය මහතා ම සඳහන් කරන ආකාරයට දැනටත් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි ළමාරෝග ක්‌ෂේත්‍රය සඳහා එකම මහාචාර්යවරයෙක්‌ වත් නැත. බොහෝ දෙනකුගේ අවධානයට යොමු නොවූ කරුණක්‌ මෙහිදී සඳහන් කළ යුතුය. එනම් සයිටම් සම්බන්ධයෙන් දැනට ඇති ගැටලු විසඳී එය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ ලෙස පවත්වාගෙන යැමට ඉඩ ලැබුණ හොත් එතැන් සිට වසරක්‌ දෙකක්‌ ගතවෙද්දීම තවත් එවැනි ආයතන රැසක්‌ මේ රටේ බිහිවන බවයි. එවැනි තත්ත්වයක්‌ තුළ රජරට වෛද්‍ය පීඨයේ දැනට ඇතැයි මහාචාර්යතුමන් සඳහන් කරන ආචාර්යවරුන්ගේ හිඟය රජයේ වෛද්‍ය පීඨ සියල්ලෙහිම ඊට වඩා බරපතළ ලෙසින් ඇතිවීම වැළැක්‌විය නොහැකි වනු ඇත. එවිට රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන උපාධිධාරීන්ගේ ප්‍රමිතිය ඉබේම අඩුවී එහි වාසියද පෞද්ගලික වෛද්‍ය පීඨවලටම ලැබීමට ඉඩ ඇත. එවිට ප්‍රවාහන සේවයට ඇතුළු වීමට පුද්ගලික අංශයට ඉඩදීමෙන් ලංගමයට සිදු වූ දේම රජයේ වෛද්‍ය පීඨවලට සිදු නොවනු ඇති ද? එවැනි තත්ත්වයක්‌ යටතේ කෝටි ගණනක්‌ වැය කොට බිහි කෙරෙන වෛද්‍යවරුන් රෝගීන්ට ප්‍රතිකාර කරනු ඇත්තේ ද ප්‍රධාන වශයෙන්ම පුද්ගලික රෝහල් හරහා කෝටි ගණනින් මුදල් ඉපැයීම අරමුණු කර ගත් ව්‍යාපාරයක්‌ ලෙසයි. එවැනි තත්ත්වයක්‌ තුළ රටේ නිදහස්‌ සෞඛ්‍ය සේවයට කවරක්‌ සිදුවනු ඇති දැයි සිතාගැනීම අපහසු නොවේ. හෘදායාබාධයකට ප්‍රතිකාර ගන්නට පෞද්ගලික රෝහලකට ඇතුළු කෙරුණු රෝගියා දිනක අවෑමෙන් මියගිය පසු රෝහලේ බිල ගෙවන තෙක්‌ මෘත දේහය නිදහස්‌ නොකිරීම නිසා එය ලබාගැනීමට පවුලේ සාමාජිකයන්ට උසාවි යන්නට සිදුවූ අවස්‌ථාව බොහෝ දෙනකුට තවමත් අමතක නැත.

රජයේ වෛද්‍ය පීඨ කොපමණ තිබුණත් වැඩිපුර සිසුන් බඳවාගැනීම උදෙසා ඒ කිසි එකක්‌ අතර තරගයක්‌ ඇති නොවේ. තරගයක්‌ ඇති වෙතොත් ඒ වඩාම දක්‌ෂ සිසුන් පිරිස බඳවා ගැනීම උදෙසා පමණි. එහෙත් ව්‍යාපාරික ආයතන අතර තරගය අනිවාර්යය. තරගයට මුහුණදීම සඳහා වෙනමම නිලධාරීන් ද එබඳු ආයතනවල පත්කෙරේ. සයිටම් ද ව්‍යාපාරික ආයතනයකි. එයට බාධාවකින් තොරව කටයුතු කරගෙන යන්නට ලැබුණු විට තවත් එවැනි ආයතන ඇතිවීම වැළැක්‌වීමට නීති යෙදිය නොහැකිය. ඒ නිසා වසර කිහිපයක්‌ ගතවීමේදී පුද්ගලික වෛද්‍ය පීඨ ගණනාවක්‌ මේ රටේ ඇතිවීම කිසිසේත් වැළැක්‌විය නොහැකිය. සිසුන් බඳවාගැනීම සඳහා තරග කිරීමේදී සියුම් උපක්‍රම ඔවුන් භාවිත කරනු ඇත. වඩාත් දක්‌ෂතම ආචාර්යවරුන් මිලට ගැනීම, ඔවුන් ලවා තම ආයතන වර්ණනා කර ගැනීම පමණක්‌ නොව රජයේ වෛද්‍ය පීඨ ආචාර්යවරුන් සිසුනට ඉහළ ප්‍රතිඵල ලබාදීමට පසුබට වන්නේ යෑයි ප්‍රචාර පතුරුවා හැරීම යනාදී අප නොසිතන උපක්‍රම පවා ඒ තුළ ක්‍රියාත්මක විය හැකිය.

එසේ නම් සයිටම් සම්බන්ධයෙන් දැනට ඇති ගැටලුව විසඳිය හැක්‌කේ කෙසේඳ? පෙර සඳහන් කළ පරිදි කොටස්‌ වෙළෙඳපොළට විවෘත කිරීම විසඳුමක්‌ නොවේ. අවශ්‍ය සායනික පුහුණුව ලබාදී එහි සිසුන්ට වෙනම විභාගයක්‌ හෝ සියලු සිසුන්ට පොදු විභාගයක්‌ හෝ පැවැත්වීම අත්‍යවශ්‍ය වුවත් පෞද්ගලික වෛද්‍ය පීඨ පවත්වාගෙන යැමට ඉඩ ඇති තාක්‌කල් පෙරකී අනාගත අවදානම එමඟින් පමණක්‌ වැළැක්‌විය නොහැකිය.

එනිසා පෙනෙන්නට ඇත්තේ එකම විසඳුමක්‌ පමණි. එනම් සයිටම් ආයතනය රජයට පවරා ගෙන මුදල් අයකර උපාධි පිරිනමන රාජ්‍ය ආයතනයක්‌ ලෙස පවත්වාගෙන යැමයි.

රුහුණ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති
මහාචාර්ය එල්. පී. ජයතිස්‌ස 


සටහන- මහාචාර්ය ජයතිස්සගේ මේ සටහන උපුටා දක්වනුයේ ඔහු ලමාබදුසූරියගේ තර්ක බිඳ දමන නිසා  නිසා මිස  රජයත් මුදල් අයකර සරසවි අධ්‍යාපනය ලබා දිය යුතු යැයි කියන කරුණට එකඟ නිසා නොවේ.,

No comments:

Post a Comment