Tuesday, June 27, 2017

ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අවශ්‍යයිද?

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යන සංකල්පය ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇත. සැබැවින්ම, එය ජාතික ප්‍රශ්නයක් බවට පත් වී ඇතිබව කිවහොත් වඩාත් නිවැරදිය. කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත විය යුතුද, නොවිය යුතුද යන්න පිළිබඳ සමාජයේ විවිධ මත පවතින බව දැකිය හැක. විද්වතුන් අතර පවා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති සහ මතවාද පවතින බව පෙනේ. එසේ නම්, ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ස්ථාපිත කිරීම නිසා ඇතිවිය හැකි ප්‍රතිඵල පිළිබඳව තර්කානුකූලව සිතා බැලීම කාලෝචිත දෙයක් ලෙස සැලකිය හැක.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා සබැඳි, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පිළිබඳ පවතින පොදු දුර්මත කිහිපයක් පහතින් දක්වා ඇත. මෙම ලිපිය තුළදී එම දුර්මත වල පවතින සත්‍ය, අසත්‍යතාවය එකින් එක සාකච්ඡාවට බඳුන්වනු ඇත.
  • ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනයට ඇති අවස්ථාවන් අසාධාරණ ලෙස සීමාවීම දැකිය හැක.
  • අ.පො.ස. උසස් පෙළ විභාගය යනු උසස් අධ්‍යාපනය සඳහා සුදුස්සන් තේරීමට දුර්වල ක්‍රමවේදයකි.
  • ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතී.
  • වැඩිපුර වෛද්‍යවරුන් සිටීම වාසිදායක වේ.
  • අනෙකුත් ක්ෂේත්‍ර ද පෞද්ගලිකකරණය වී තිබෙන නිසා වෛද්‍ය අධ්‍යාපනය ද එසේ විය යුතුය.
  • පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටක ආර්ථිකයට වාසිදායක වේ.
ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා දැඩි ලෙස සීමා වීමක් සිදුව ඇත්ද?

මෙහිදී, ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගයෙන් සමත් වන සහ එයින් විශ්ව විද්‍යාල වලට ඇතුළු වන ශිෂ්‍යයන් සංඛ්‍යාව එකින් එක සසඳා බලමු. සාමාන්‍යයෙන්, එක් වසරකදී උසස් පෙළ විභාගයට කළා අංශයෙන් පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 70,000 ක් පමණ විභාගය සමත් වේ. එනම්, S සාමාර්ථ 3 ක් හෝ එයට වඩා සුදුසුකම් ලබයි. ඉන් සිසුන් 7000 ක් පමණ විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගනී. එනම්, කළා අංශයෙන් උසස් පෙළ සමත්වන්නන් අතරින් විශ්ව විද්‍යාලයකට ඇතුළත් කරගන්නේ ආසන්න වශයෙන් 10% ක් පමණි. මෙහිදී, කළා අංශයෙන් උසස් පෙළ සමත්වන සිසුන්ගෙන් විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමට හැකිවන්නේ දහයෙන් එකකට පමණක් බව ඔබට වැටහෙනු ඇත.
සාමාන්‍යයෙන්, වසරකදී උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගය සමත්වන්නන් ගණන 21,000 ක් පමණ වේ. ඉන් ආසන්න වශයෙන් 7000 ක් පමණ විශ්ව විද්‍යාලයට ඇතුළු කරගැනීම සිදුවේ. එනම්, ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සමත්වන සිසුන්ගෙන් ආසන්න වශයෙන් 33% ක් විශ්ව විද්‍යාලයට ඇතුළු වේ. මෙහිදී, ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වන සෑම සිසුන් 3 දෙනෙක් ගෙන් එක් අයෙකුට විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට හැකියාව ලැබෙන බව ඔබට වැටහෙනු ඇත. එමෙන්ම, වසරකදී වෛද්‍ය විද්‍යාල වලට බඳවාගන්නා සිසුන් ගණන ආසන්න වශයෙන් 1325 ක් පමණ වන බැවින්, උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විශ්ව විද්‍යාලයකට ඇතුළු වන සෑම සිසුන් 5 දෙනෙක් ගෙන් එක් අයෙක් වෛද්‍ය ශිෂ්‍යයෙක් වේ. මෙම කරුණු සලකා බලන විට, ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමතුන්ගෙන් 6.3% කට පමණ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට හැකියාව ලැබේ.
සැබැවින්ම, විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට පවතින අවස්ථා සීමා වී ඇත්තේ, ජීව විද්‍යා අංශයට වඩා කළා අංශය තුළය. මෙතරම් විශාල සිසුන් සංඛ්‍යාවක් කළා අංශය තෝරාගන්නේ, ශ්‍රී ලංකාව තුළ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබාගත හැකි පාසල් ගණන සහ පහසුකම් අඩුවීම හේතුවෙනි.
වසරකදී උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහළ ප්‍රතිඵල ගන්නා සිසුන් සංඛ්‍යාව පිළිබඳව මදක් සලකා බලමු. වසරකදී ජීව විද්‍යා අංශයෙන් B සාමාර්ථ 3 ක් හෝ එයට වැඩි ප්‍රතිඵල ලබාගන්නා සිසුන් සංඛ්‍යාව 2388 ක් පමණ වේ. එනම්, මෙම සංඛ්‍යාවෙන් ආසන්න වශයෙන් 55% ක් පමණ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට වරම් ලබයි. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් A 3 ක් ලබාගන්නා සිසුන්ගෙන්, ඉතාම ස්වල්ප දෙනෙකුට හැර අන් සියළු දෙනාට වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට හැකිවේ. එබැවින්, උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහළ ප්‍රතිඵල ලබාගන්නා සිසුන්ගෙන් විශාල ප්‍රතිශතයකට වෛද්‍ය අධ්‍යාපනය සඳහා පිවිසීමට අවස්ථාව ලැබේ. සැබැවින්ම, අනෙක් සෞඛ්‍යය ආශ්‍රිත උපාධි පාඨමාළා වලට ඇතුළු වන්නේ ආසන්න වශයෙන් 700 ක් පමණි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල ඇතැම් සෞඛ්‍යය ආශ්‍රිත උපාධි පාඨමාලා වලට සිසුන් ඇතුළත් වන්නේ නැති තරම්ය. මෙසේ සලකා බලන විට, ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීමට පවතින අවස්ථා දැඩිව සීමාවීමක් දක්නට නොලැබෙන බව ඔබට වැටහෙනු ඇත.
සැබැවින්ම, ලෝකයේ දියුණු රටවල ශ්‍රී ලංකාවටත් වඩා වෛද්‍ය අධ්‍යාපනයට පිවිසීමට ඇති අවස්ථා සීමිත වේ. අපේ අධ්‍යාපන ක්‍රමයට සමාන අධ්‍යාපන ක්‍රමයක් පවතින එක්සත් රාජධානියේ (United Kingdom) වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා කෙබඳු දැයි මදක් විමසා බලමු. එක්සත් රාජධානිය තුළ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම සඳහා අවම සුදුසුකම වන්නේ උසස් පෙළ A සාමාර්ථ 3 ක් ලබාගැනීමය. උසස් පෙළ A සාමාර්ථ 3 ක් ලබාගත් අයගෙන් ද වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට වරම් ලැබෙන්නේ 5 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණි. එක්සත් රාජධානියේ ඇති හොඳම විශ්ව විද්‍යාලයක් වන ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඇතුළු විය හැක්කේ උසස් පෙළ A සාමාර්ථ 3 ක් ලබාගත් අය 17 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණි.
ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන අවම සුදුසුකම් ලැබූවන්ගෙන් පාඨමාළාව සඳහා තෝරාගන්නේ ආසන්න වශයෙන් 2% ක් (7000 කින් 165 ක්) පමණි. ඉන්දියාවේ පවතින All India Institute of Medical Sciences නැමැති වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට අයදුම්පත් ඉදිරිපත් කරන අවම සුදුසුකම් ලැබූවන්ගෙන් 0.08% කට පමණක් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට වාසනාව (90,000 කින් 72 කට) ලැබේ. එසේ නම්, ලෝකයේ අනෙක් රටවල් සැලකූ විට, වෛද්‍ය අධ්‍යාපනයට පිවිසීමට ඇති අවස්ථා ශ්‍රී ලංකාවටත් වඩා සීමාසහිත සහ තරඟකාරී බව ඔබට වැටහෙනු ඇත.

උසස් පෙළ විභාගය සුදුස්සන් තෝරාගැනීම සඳහා දුර්වල ක්‍රමවේදයක්ද?

දැනට සිදුකර ඇති පර්යේෂණ වලින්, ශ්‍රී ලංකාවේ ජීව විද්‍යා අංශයේ උසස් පෙළ ප්‍රශ්න ගුණාත්මක බවින් ඉහළ මට්ටමක පවතින බව පෙන්වා දී ඇත. බුද්ධිමය හැකියාව (Cognitive ability) මැන බැලීම සඳහා යම් ප්‍රශ්න පත්‍රයක් කොතරම් සමත්ද යන්න සෙවීමට එහි අසීරුතා දර්ශකය (Difficulty index) නම් අගයක් ගණනය කරනු ලැබේ. උදාහරණයක් වශයෙන්, 2015 ජීව විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ 90% කටත් වඩා ප්‍රශ්න මෙම දර්ශකයේ නිර්දේශ කරන පරාසය තුළ පවතින බව සොයාගෙන ඇත.
එමෙන්ම, උසස් පෙළ ජීව විද්‍යා අංශයේ විෂය නිර්දේශයෙන් සහ විභාගයෙන් පුළුල් පරාසයක විෂය ක්ෂේත්‍රයක් ආවරණය වන බවද පර්යේෂණ වලින් තහවුරු වී ඇත. විශේෂයෙන්ම, මෙම විෂය නිර්දේශය තුළින් වෛද්‍ය විද්‍යාලයේදී ඉගෙනගන්නා විෂයයන් ගණනාවක මූලික කරුණු ආවරණය වේ. එමෙන්ම, ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වීම සඳහා ඉහළ කැපකිරීමක් සහ අධිෂ්ඨාන ශක්තියක් අවශ්‍ය වේ. එයද, අනාගත වෛද්‍යවරයෙකු සඳහා තිබිය යුතු ගුණාංගයන් ලෙස දැක්විය හැක.
ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමයට බොහෝදුරට සමාන අධ්‍යාපන ක්‍රමයක් පවතින එක්සත් රාජධානිය තුළ සිදුකරන ලද පර්යේෂණ වලින් හෙලිවී ඇත්තේ උසස් පෙළ ජීව විද්‍යා විභාගයේ ප්‍රතිඵල සමග වෛද්‍ය පීඨයකදී සිසුවෙකු දක්වන කුසලතාවය සමානුපාතික වන බවයි. එනම්, ඉහළ කුසලතා ඇති ගුණාත්මක වෛද්‍යවරයෙකු බිහිකිරීම සඳහා තෝරාගත යුත්තේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහළ ප්‍රතිඵල ඇති සිසුන් බව ද ඔබට අවබෝධ වනු ඇත.

සැමට සාධාරණය ඉටුවන ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකා වෛද්‍ය අධ්‍යාපනය තුළ පවතිනවාද?
උසස් අධ්‍යාපනය ලැබීමට යමෙකුට ඇති අයිතිය සාධක දෙකක් මත රඳා පැවතිය යුතු බව ලෝක මානව හිමිකම් ප්‍රකාශනයේ (Universal Declaration of Human Rights) 26.1 වගන්තියෙහි සඳහන් වේ. එම සාධක දෙක කුසලතාවය සහ සමානාත්මතාවය වේ. ශ්‍රී ලංකාවේ පවතින විශ්ව විද්‍යාල වලට තෝරාගැනීමේ ක්‍රමවේදය ඉහත කරුණු සමග කොතරම් ගැලපෙනවා දැයි මදක් විමසා බලමු.
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කෝටා ක්‍රමයට විශ්ව විද්‍යාල වලට තෝරාගැනීම ඇතැම් අයගේ විවේචනයට ලක්වීම රහසක් නොවේ. මෙම ක්‍රමයේ යම් යම් අඩුපාඩු පැවතියත්, බොහෝදුරට සමානාත්මතාවය රැකදීමට දිස්ත්‍රික් කෝටා ක්‍රමයට හැකියාව පවතී. විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාවෙන් 40% ක් උසස් පෙළ විභාගයේ සමස්ථ ලංකා ප්‍රතිඵල අනුව ද, 55% ක් දිස්ත්‍රික් කෝටා ක්‍රමයට ද, ඉතිරි 5% අඩු පහසුකම් පවතින දිස්ත්‍රික්ක වලින් ද තෝරාගැනීම දැනට පවත්නා ක්‍රමයයි. දිස්ත්‍රික් කෝටා ක්‍රමයේදී විශ්ව විද්‍යාලයට තෝරාගන්නා සිසුන් සංඛ්‍යාවෙන් 55% ක් එක් එක් දිස්ත්‍රික්කයේ ජනගහණ අනුපාතය අනුව බඳවාගැනීම සිදුවේ.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට සිසුන් බඳවාගැනීමේදී සමස්ථ ලංකා කුසලතාවය මත පදනම්ව පමණක් සිසුන් බඳවාගන්නේ යැයි මොහොතකට සිතමු. එවිට, මන්නාරම, මුලතිවු, මොණරාගල වැනි දිස්ත්‍රික්ක වලින් එකඳු සිසුවෙක් වත් වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු නොවේ. එසේ නම්, ශ්‍රී ලංකාවේ අඩු පහසුකම් පවතින දිස්ත්‍රික්ක වලට පවා යම් සමානාත්මතාවයක් ලබාදීමට දිස්ත්‍රික් කෝටා ක්‍රමයට හැකියාව ලැබී තිබෙනවා නොවේද? තවද, දිස්ත්‍රික් කෝටා ක්‍රමයට ඇතුළු වන වෛද්‍ය සිසුන්ගේ උසස් පෙළ ප්‍රතිඵල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වුවද, වෛද්‍ය විද්‍යාලයේදී සමාන පහසුකම් ඇතිව ඉගෙනගන්නා විට ඔවුන්ගේ කුසලතාවයන් බොහෝදුරට සමාන බව ද පෙනී යන කාරණයකි.

වෛද්‍ය විද්‍යාලයකට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා සුදුසු ක්‍රමවේදය කුමක්ද?

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වන පරිදි උසස් පෙළ විභාගය සමත් වූවා යැයි සැලකීමට අවශ්‍ය වන අවම සුදුසුකම වන S සාමාර්ථ 3 ක් ලබාගැනීම, වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් වීමට සුදුසුකමක් ලෙස සැලකීමට හැකියාව තිබෙනවාද? මෙය අතීතයේදී නම් නිවැරදි විය හැකි සංකල්පයකි. නමුත්, වර්තමානයේදී සිසුන් ලබාගන්නා උසස් පෙළ ප්‍රතිඵල සහ ඔවුන්ගේ හැකියාවන් වසරින් වසරට වැඩිදියුණු වන බව පෙනේ. එක් එක් දිස්ත්‍රික්කයන්ගේ අවම කුසලතාවයන් ද වසරින් වසර ඉහළ යන බව පෙනේ. මෙය කුසලතා උද්ධමනය (Grade inflation) ලෙස හැඳින්වේ. එමනිසා, වෛද්‍ය විද්‍යාලයකට ඇතුළුවීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම S සාමාර්ථ 3 ක් හෝ C සාමාර්ථ 3 ක් කිරීම තවදුරටත් වළංගු සංකල්පයක් නොවන බව කිව හැක. කුසලතා උද්ධමනයට සමානුපාතිකව වෛද්‍ය විද්‍යාලයකට ඇතුළුවීමට අවශ්‍ය අවම සුදුසුකම නිර්ණය කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ඔබට වැටහෙනු ඇත.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ශ්‍රී ලංකාවට නුසුදුසු වන්නේ ඇයි?

සැබැවින්ම, ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සුදුසුද සහ එහි අවශ්‍යතාවයක් තිබේද යන්න සලකා බැලිය යුතුය. ශ්‍රී ලංකාව ලෝකයේ පවතින වෙනත් රටවල් අතරින් සුවිශේෂී තැනක් අයත්කර ගැනීමට හේතුවී ඇත්තේ, රටට මහඟු දායාදයන් දෙකක් වූ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය බවට කිසිඳු විවාදයක් නොමැත. සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය මැනීමට භාවිතා කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දර්ශක අනුව දකුණු ආසියාවේ පළමු ස්ථානය සහ ලෝකයේම රටවල් 190 ක් අතරින් 76 වන ස්ථානය අයත්කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි. එනමුත්, ශ්‍රී ලංකාවට අවශ්‍ය වෛද්‍යවරුන් බිහිකරන්නේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 8 ක් මගින් පමණි. අපේ අසල්වැසි ඉන්දියාවේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල 217 ක් සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 249 ක් පවතී. නමුත්, සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය නිර්ණය කරන දර්ශක වලට අනුව ඉන්දියාවට අයත්ව ඇත්තේ දකුණු ආසියාවේ තුන්වන ස්ථානය සහ ලෝකයෙන් 112 වන ස්ථානයයි. එසේ නම්, අප කලයුත්තේ ශ්‍රී ලංකාවේ පවතින ගුණාත්මක නිදහස් අධ්‍යාපන ක්‍රමය රැකගැනීම නොවේද? එහි අඩුපාඩු ඇත්නම්, ඒවා නිවැරදි කරගනිමින් තවත් ගුණාත්මකභාවය වැඩිදියුණු කරගැනීමට කටයුතු කරගැනීම නොවේද?

ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතිනවාද?

දැනට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරුන් 25,600 ක් පමණ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන අතර, එයින් 70% ක් පමණ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කරයි. එමනිසා, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් පුද්ගලයන් 1000 කට එක් වෛද්‍යවරයෙක් බැගින් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ද රටක පැවතිය යුතු වෛද්‍ය-ජනගහණ අනුපාතයක් පිළිබඳව ප්‍රකාශයට පත්කර නැත. නමුත්, යම් රටක පැවතිය යුතු සහ පවතින වෛද්‍ය-ජනගහණ අනුපාතය සාධක කිහිපයක් මත රඳා පවතී. ඒවා නම්:
  • රටේ පවතින සෞඛ්‍ය සේවා පද්ධතියේ ස්වභාවය සහ එහි කාර්‍ය මණ්ඩලය වැඩිකිරීමට ඇති හැකියාව
  • රටේ පවතින ආර්ථිකය සහ ආර්ථික වර්ධන වේගය
  • රටේ පවතින රෝග වල ස්වභාවය
කෙසේ නමුත්, ලෝකයේ අනෙක් රටවල් සමග සසඳා බැලීමේදී ශ්‍රී ලංකාව, වෛද්‍යවරු හිඟයක් පවතින රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර නැත.



එමෙන්ම, වසරකට නව වෛද්‍යවරුන් 1500 බැගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම එනම්, සෞඛ්‍ය සේවයට එකතු වීම සිදුවේ. එමනිසා, තව වසර 5 කින් පමණ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී සිටින වෛද්‍යවරුන් ගණන 35,000 ට ආසන්න වනු ඇත. වසර 2020 දී, වෛද්‍ය-ජනගහණ අනුපාතය පුදගලයන් දහසකට 1.6 ක් වනු ඇතැයි අනුමාන කෙරේ.
අනාගතයේදී මෙවැනි වෛද්‍යවරුන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට අන්තර්ග්‍රහණය කරගැනීම සිතන තරම් පහසු දෙයක් නොවනු ඇත. මක්නිසාද, රටේ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩිවන වේගයට සාපේක්ෂව සෞඛ්‍ය සේවයේ භෞතික සම්පත් සහ අනෙකුත් යටිතළ පහසුකම් වර්ධනය වන්නේ ඉතා සෙමිනි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය වර්ධනය වීමද එතරම් සතුටුදායක මට්ටමක නොපවතින අතර, දැනට දළ ජාතික නිෂපාදනයෙන් සෞඛ්‍යයට වෙන්කරන්නේ 3.5% ක් පමණි.

වෛද්‍යවරුන් වැඩිපුර සිටීමෙන් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය වැඩිවෙනවාද?

සෞඛ්‍ය සේවයේ කාර්‍ය මණ්ඩල ව්‍යුහය මදක් සංකීර්ණ වී ඇති සෙයක් පෙනේ. වෛද්‍යවරුන්, හෙදියන්, භෞත චිකිත්සකයන් වැනි සේවා ගණ අතර අනුපාතය නිසි ප්‍රමාණයට වඩා වෙනස් ව පවතී. දැනටත් එක් වෛද්‍යවරයෙකුට සිටින්නේ හෙදියන් දෙදෙනෙකු බැගින්ය. එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත අගයට වඩා බෙහෙවින් අඩු අගයකි. ඒ අනුව, වෛද්‍යවරුන්ට සාපේක්ෂව හෙද කාර්‍ය මණ්ඩලයේ සහ අනෙකුත් සම සෞඛ්‍ය සේවා ගණ වල විශාල හිඟයක් පවතී. එමනිසා, දැනට සිටින වෛද්‍යවරුන් සංඛ්‍යාවට සාපේක්ෂව අනෙකුත් සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලය වැඩිකරගැනීම සැලකිල්ලට ගතයුතු කාරණයක් වී හමාරය. සෞඛ්‍ය සේවය වැඩිදියුණු කලයුත්තේ සමස්ථයක් වශයෙන් ගෙන මිස, වෛද්‍යවරුන් සංඛ්‍යාව පමණක් ඉහළ දැමීමෙන් නොවේ.
2015 වසරේදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක ජනගහණයේ පුද්ගලයන් 1000 කට සිටින වෛද්‍යවරුන් ගණන පහතින් දක්වා ඇත.


ඒ අනුව, සෞඛ්‍ය සේවයේ සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව, රට පුරා වෛද්‍යවරුන්ගේ ව්‍යාප්තිය ගැටළුවක් වී ඇති බව ඔබට වැටහෙනු ඇත.

අනෙකුත් ක්ෂේත්‍ර පෞද්ගලිකකරණයට ලක්වන පමණින්, වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය විය යුතුද?
පෞද්ගලිකකරණය යනු ලෝකයේ නවතම ප්‍රවණතාවය නොවේ. බොහොමයක් සංවර්ධිත රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් ක්‍රමයෙන් පෞද්ගලික අධ්‍යාපනය, නිදහස් අධ්‍යාපනයට පරිවර්තනය කිරීම නවතම ප්‍රවණතාවය බවට පත්වෙමින් පවතී. ක්‍රමයෙන් අධ්‍යාපනය පෞද්ගලිකකරණය වීමේදී ඇතිවන තරඟකාරීත්වයත් සමග එහි ගුණාත්මකභාවය රඳවාගැනීම සිදු නොවන අතර, අසල්වැසි ඉන්දියාව වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම නිසා සිදුකරගෙන ඇති අනර්ථය එයට හොඳම නිදසුනකි.
සැබැවින්ම, වෛද්‍ය අධ්‍යාපනය යන්න අනෙක් පාඨමාළා වලින් හාත්පසින්ම වෙනස් දෙයකි. එය ගණුදෙනු කරන්නේ මිනිස් ජීවිත සහ මරණය සමගය. වෛද්‍යවරයෙකුට රෝගියෙකුගේ ජීවිතය සම්බන්ධව වගකීමෙන් යුතුව තීරණ ගැනීමට සිදුවන අවස්ථා එමටය. ඇතැම් විටෙක, වෛද්‍යවරයෙකුට කිසිඳු පුද්ගලයෙකුගේ අධීක්ෂණයකින් තොරව තනිවම තීරණ ගැනීමට සිදුවන අවස්ථාද දක්නට ලැබේ. එමනිසා, එහි ගුණාත්මකභාවය රඳාපැවතීම සඳහා උසස් සායනික පුහුණුවක්, න්‍යාය දැනුමක්, සහ ඉහළ කුසලතාවයක් අවශ්‍ය වේ. එබැවින්, වෛද්‍ය අධ්‍යාපනය යනු සංකීර්ණ ක්‍රියාදාමයක් වන අතර, එහි සායනික පුහුණුවෙන් 95% ක් පමණ සිදුවන්නේ රජයේ රෝහල් වල වාට්ටු තුළදීය. එමෙන්ම, ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවාවේ ඉතාම වැදගත් අංගයක් වන රෝග වැළැක්වීමේ සත්කාර (Preventive healthcare) මුළුමනින්ම පාහේ සිදුවන්නේ රාජ්‍ය සෞඛ්‍ය ආයතන හරහා පමණි. පෞද්ගලික ව්‍යාපාරයකට, පුද්ගලයෙකුට, හෝ පෞද්ගලික ආයතනයකට එසේ ඉහළ මට්ටමක ගුණාත්මකභාවයක් පවත්වා ගැනීම ඉතාම අපහසුය. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සැලකීමේදී, ඉහළ ලාභයක් සහ ඉහළ ගුණාත්මකභාවය යන දෙකම එකවර පවත්වා ගත නොහැක. මක්නිසාද, ඉන් එකක තත්ත්වය ඉහළට යනවිට අනෙක පහත් තත්ත්වයකට ඇදවැටීම නිතැතින්ම සිදුවන දෙයකි.
ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ නිදහස් අධ්‍යාපනයයි. පහත සඳහන් රටවල් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ අයත්කරගෙන සිටින ස්ථානයන් සහ එහි පවතින පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවන් මදක් සසඳා බලන්න.


ඉහත රටවල් වල පවතින අතලොස්සක් වන රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල සියල්ල පෞද්ගලික ඒවා නොවන අතර, භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන, ලාභ නොලබන පුණ්‍ය ආයතන ලෙස ක්‍රියාත්මක වේ.
පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ප්‍රමාණයක් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අයත් කරගෙන සිටින ස්ථාන මදක් සසඳා බලන්න. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන්ට අයත්ව ඇති ඉරණම ඔබට මනාව වැටහෙනු ඇත.


සැබැවින්ම, ශ්‍රී ලංකාවේ පවතින පෞද්ගලික උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ නිර්දේශිත අවම ගුණාංග පිළිබඳ විශ්වාසනීය තොරතුරු නොමැති තරම්ය. එමෙන්ම, පෞද්ගලික උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම සහ නිර්ණය කිරීම සඳහා සාර්ථක යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව තුළ ඇති බවක් නොපෙනේ. ඇතැම් අය පවසන ආකාරයට, ලෝකයේ ඉහළ පෙලේ වෛද්‍ය විද්‍යාල වල ශාඛාවන් ශ්‍රී ලංකාවේ විවෘත කල පමණින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය දියුණු වේද? ඔවුන්ගේ මව් විශ්ව විද්‍යාලයේ පවතින ප්‍රමිතිය, එයට අනුබද්ධ මෙරට පවතින ශාඛාවේද එලෙසම පවතින බවට කිසිඳු සහතිකයක් කිසිවෙකුට දිය නොහැක.
එමෙන්ම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය පවත්වා ගැනීමට තවත් බාධාවක් වන්නේ ඉහළ සුදුසුකම් ඇති ගුණාත්මක සිසුන් බඳවාගැනීමට ඇති අපහසුතාවයයි. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහළ ප්‍රතිඵල ලැබ රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට සුදුසුකම් නොලබන සෑම සිසුවෙකුටම පෞද්ගලිකව වෛද්‍ය උපාධියක් ලබාගැනීමට තරමේ ආර්ථික තත්ත්වයක් නොමැත. එමනිසා, පෞද්ගලික වෛද්‍ය උපාධි ලබාදෙන ආයතනයකට ප්‍රමාණවත් තරමේ ආර්ථික ශක්තියක් ඇති සිසුන් පමණක් තෝරාගැනීමට සිදුවේ. එහිදී, පෞදගලික වෛද්‍ය උපාධියක් ලැබීමට අවශ්‍ය අවම උසස් පෙළ සුදුසුකම සැලකිය යුතු ලෙස පහත දැමීමට අදාළ ආයතනයට සිදුවේ.
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික සහ පරිපාලනමය පසුබිමේ පවතින දූෂණ, අතපෙවීම්, සහ බලපෑම් කිරීම් හමුවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක ප්‍රමිතියට සිදුවන බලපෑම කෙසේ වේදැයි ඔබට වැටහෙනු ඇත. අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට අසල්වැසි ඉන්දියාව ගත් අදූරදර්ශී තීරණය හේතුවෙන් එරටට අත්වී ඇති ඉරණම මදක් විමසා බැලීමෙන් එය මනාව වටහාගත හැක.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් වේද?

ඇතැම් අය පවසන ආකාරයට, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තියක් විය හැක. මෙය සත්‍යයක් යැයි ඔබ සිතනවාද? සමහර දේශපාලකයන් සහ විද්වතුන්, වෛද්‍යවරුන් වැඩිපුර නිෂ්පාදනය කර පිටරට යැවීමෙන් විශාල විදේශ විනිමයක් ඉපැයීමට හැකියාව ඇතැයි මතයක් ප්‍රචාරය කරමින් සිටියි. සැබැවින්ම, ගුණාත්මක වෛද්‍යවරයෙක් බිහිකිරීම යනු විශාල පිරිවැයක් දැරීමට සිදුවන ක්‍රියාවලියකි. එමනිසා, වෛද්‍යවරුන් හුදෙක් පිටරට යැවීමෙන් පමණක් විදේශ විනිමය ඉපැයීමට බලාපොරොත්තු වීම එතරම් සාර්ථක වියහැකි ක්‍රියාවලියක් නොවේ. එවැනි ක්‍රියාවලියකින් සිදුවිය හැකි තවත් අනර්ථයක් වන්නේ බුද්ධි ගලනය (Brain drain) හෙවත්, රටේ බුද්ධිමතුන් විදේශයන්ට ඇදීයාම ය. දැනට, විදේශ රටවල සේවය කරන වෛද්‍යවරුන් සැලකූ කල ඔවුන් උපයන ආදායමට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ඉතාම අල්ප මට්ටමක පවතින බැවින්, වෛද්‍යවරුන් පිටරට යැවීම ආර්ථික වශයෙන් ලාභදායී ක්‍රමවේදයක් ලෙස සැලකිය නොහැක.
ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම, රටේ මුදල් විදේශයන්ට ඇදීයාම වැළැක්වීමට හොඳ පිළියමක් බව ඇතැම් ව්‍යාපාරිකයන්ගේ, විද්වතුන්ගේ, සහ ඇතැම් දේශපාලකයන්ගේ මතයයි. නමුත්, ගෝලීයකරණය වීම තුළ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශගත වීම අනිවාර්ය අංගයක් වී හමාරය. තවද, එසේ සිදුවීම සඳහා හේතුවන තවත් සාධක ගණනාවකට පිළිතුරු, රටක පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ස්ථාපිත කිරීමෙන් නොලැබේ. රටක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා විදේශගත වීම අඩුකරගත හැකිබවට උපකල්පනය කිරීම නිවැරදි නොවන බවට හොඳම උදාහරණය ඉන්දියාවයි. ඉන්දියාව යනු ලෝකයේ වැඩිම පෞද්ගලික සහ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පවතින රටයි. නමුත්, ලෝකයේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වැඩිම සිසුන් සංඛ්‍යාවක් විදේශගත වන රට වන්නේ ද ඉන්දියාවයි. එය ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාල වල සිටින ඉන්දියානු ශිෂ්‍යයන්ගේ ප්‍රතිශතය සලකා බැලීමෙන් වටහාගත හැක.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමෙන් විදේශ සිසුන් ආකර්ශණය කරගෙන විදේශ විනිමය ඉපැයීමට හැකි බව, සමාජයේ පවතින තවත් මතයකි. විදෙස් සිසුන් යම් රටකට ආකර්ශණය වීම සඳහා සාධක ගණනාවක් බලපාන බව පෙනේ. එනම්:
  • රටක පවතින තත්ත්වය සහ පහසුකම්
  • අදාළ උපාධියට ලෝකයේ පවතින පිළිගැනීම
  • වෛද්‍ය විද්‍යාලයේ ස්ථාවරත්වය
  • උපාධිය ලබාගැනීමට අවශ්‍ය පිරිවැය
ඉහත කරුණු සලකා බැලීමේදී, දේශීය ආයෝජකයන්ට ඉහත සාධක ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීමට නොහැකි බව පෙනේ. විදේශීය ආයෝජකයන් වැඩි කැමැත්තක් දක්වන්නේ ඔවුන්ගේ වෛද්‍ය විද්‍යාල වලට දේශීය සිසුන් ආකර්ශණය කරගැනීමය. මක්නිසාද, ඔවුන්ට අවශ්‍ය වන්නේ විදෙස් සිසුන් ආකර්ශණය කරගැනීමට නම්, ශ්‍රී ලංකාව තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට ඔවුන්ට සැබෑ අවශ්‍යතාවයක් ඇති නොවේ. මක්නිසාද, ඔවුන්ගේ පවතින වෛද්‍ය විද්‍යාල වලට දැනටමත් ඒ හැකියාව පවතී.
සැබැවින්ම, ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යද? බුද්ධිමත්ව මදක් සිතන්න.

මහාචාර්‍ය ඉන්දික කරුණාතිලක
MBBS (Colombo), DDMedEd (Dundee), MMedEd (Dundee), FHEA (UK), FCGPSL (Hon)
වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්‍ය
වෛද්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුව
වෛද්‍ය පීඨය – කොළඹ විශ්ව විද්‍යාලය


සටහන: වෛද්‍ය නාලක ප්‍රියන්ත

4 comments:

  1. මහාචාර්ය වරයෙක් වශයෙන් තමන් ඉදිරිපත් කරණ දත්ත සඳහා මුලාශ්‍ර reference ඉදිරිපත් කරන්නේ නැද්ද?

    ReplyDelete
  2. මේ ලිපිය ගුණාත්මක භාවයෙන් අඩු නැඹුරුතාවයකින් යුතුව කැමති දත්ත පෙන්නමින් අකමැති දත්ත සඟවමින් ලියු එකක්. පළමු වාක්‍යයේ සිටම මේ ලිපියේ අඩු ගුණාත්මක භාවය ප්‍රදර්ශනය කරනවා.

    1.
    මාතෘකාව: ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අවශ්‍යයිද?
    පළමු වාක්‍යය: ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යන සංකල්පය ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇත.

    මෙය හිත මතා පැටලවීමක්. පුද්ගලික වෛද්‍ය විද්‍යාල සහ පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කියන දෙක එකට මුලින්ම පටලවනවා. මොහු එතැනින්ම කරන්නේ වංචාවක් බව පේනවා.

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබුනත් එකයි නැතත් එකයි. නොමිලේ වෛද්‍ය අධ්‍යාපනය තිබෙන අතරේම උපාධි පාඨමාලාවේ ගාස්තුව පුද්ගලිකව තමන් විසින් දරමින් වෛද්‍ය අධ්‍යාපනය ලබන්න අවස්ථාව තිබීමයි අවශ්‍යද කියන එකයි මෙතන කතා කල යුත්තේ. හැබැයි එක කතා කරන්න ගියොත් පහල වගු වල තිබෙන කතාව පුස්සක් වෙනවා. මොකද ඔය වගුවල තිබෙන බොහොමයක් රටවල රාජ්‍ය විශ්විද්‍යාලවල පවා වෛද්‍ය අධ්‍යාපනය සඳහා පාඨමාලාවේ සතුව ශිෂ්‍යයා දරන්න ඕනේ.

    සයිටම් හි ගැටලුව පුද්ගලික අංශයට අයිති වීම නම් සයිටම් ඔහොම තියෙද්දීම අර්ධරාජ්‍ය බවට පත්කලාම ඉවරයිනේ. දැනටත් තනි පුද්ගලික අයිතය කොටස් වෙළඳ පොලට මුදාහැරීමට ඔවුන් එකඟ වෙලා තිබෙනවා නේ.

    2. සෞඛ්‍ය ක්ෂේස්තරයේ ගුණාත්මක භාවය ගැන වගු දෙකෙහි දත්ත තෝරාගැනීම වංචනික මවාපෑමක් සඳහා කල එකක්. පහල වගුවේ තිබෙන්නේ දියුණු වෙමින් පවතින රටවල්. 11-76 දක්වා එක වගුවකටත් 112-150 දක්වා තවත් වගුවකටත් බෙදීම විහිළුවක්. ඉහල වගුවේ තිබෙන රටවල සෞක්‍ය සේවයට පමණක් නොවෙයි, ඇටෙන්ඩන්ට්ගේ සිට කන්සල්ටන්ට්/ප්‍රොෆෙසර් දක්වා ආකල්ප වලට අලගු තියන්නවත් ලංකාවට බැහැ.

    ReplyDelete
  3. ලෝකේ බොහෝ රටවල් වල වෛද්‍ය වෘත්තිකයන්ගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය කලින් කලට අලුත් කලයුතුයි. එසේම බරපතල අත්වැරදී සිදුවීම සහ අවකල්ක්‍රියාවන් වැනි දේ වෛද්‍ය වෘත්තිකයෙකු අතින් නැවත නැවත සිදු වේ නම් එවැනි අයගේ රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය ඉක්මනින් විදිමත්ව අත්හිටුවීමෙන් පසු වැරදි වල ප්‍රමාණය අනුව බලපත්‍රය සදහටම අවලංගු වෙන්නත් පුළුවන්.

    පුද්ගලික වී. වී. උපාධිදාරීන් හෝ රජයේ වී. වී. උපාධිදාරීන් හෝ විදේශීය උපාධිදාරීන් කිසිවෙකු රෝගී ප්‍රතිකාර සඳහා නිපුණත්වය නොපෙන්වා නැවත නැවත වැරදි/අතපසුකිරීම් සිදුකරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමේ ක්‍රමවේදයක් ලංකාවෙත් සැදීමයි අවශ්‍යයි. එවිට රෝගී ප්‍රතිකාර කරන්නට දැනුම නැති වෛද්‍යවරුන්ගේ බලපත්‍රය අහෝසි වෙනවා, උපාධිය පමණක් ඉතිරිවෙද්දී.

    රෝගී ජීවිත ගැන හිතනවා නම් ඔබලාට පුළුවන් ලේසියෙන්ම එය කරන්න. නමුත් ඔබල එතරම් ඉදිරිගාමී නෑ. ඔබල පසුගාමීයි.

    ඔබලා කවදාවත් එය කරන්න කතාකරන්නේවත් නෑ. මොකද එතකොට වම දකුණ මාරුකරල කපන රජයේ වී. වී. උපධිදාරීන්ටත් එක බලපාන නිසා දැන් වගේ නොසැලකිල්ලෙන් ප්‍රතිකාර කරල පස්සේ ලේසියෙන්ම වගකීමෙන් ගැලවෙන්න බැරි නිසා.

    ReplyDelete
  4. ඔබ පෙන්වා නොදෙන කරුණු කීපයක්:
    1. මුදල් අය කරන වෛද්‍ය විද්‍යාල වල සංඛ්‍යාලේඛන - රාජ්‍ය සහ රාජ්‍ය නොවන (එක්සත් රාජධානියේ සියළුම සිසුන් මුදල් ගෙවිය යුතුයි - වෛද්‍ය සිසුන් පවුම් 15000ක් පමණ ගෙවිය යුතුයී
    2. ආසියානු රටවල් හතර සෞඛ්‍ය සේවය ශ්‍රේණිගත කිරීම - මෙහිදී රජයේ වෛද්‍යවිද්‍යාල වල සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර නැත.

    ReplyDelete