Monday, July 24, 2017

මේ උමතුව පරාජය කළ යුතුය




සයිටම් විරෝධී අරගලය හමුවේ රජය හැසිරෙන්නේ  උමතුවෙනි. දින කිහිපයකට  පෙර වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරි කමි‍ටුවේ කැඳවුම් කරු රයන් ජයලත් නොනිල හමුදා යොදවා පැහැර ගැනීමට තැත් කළ රජය ඊයේ ලිප්ටන් වට රවුමේ සාමකාමි උද්ඝෝෂණයක යෙදුනු සරසවි සිසුන් සාමය කඩ වෙතැයි කියා පහර දී පලවා හැරියේය. ඊට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය තුලදී සිසුනට අමානුෂික ලෙස පහර දී සිසු නායකයන් සිර ගත කර ඇත. මාතර දී සිසුවෙකු පැහැර ගැනීමට උත්සාහ කළේය.

රෝගීන් නොමැතිව මැස්සන් ඇහිරෙමින් පාඩු පිට පාඩු ලබමින් තිබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත්තේ  රජයේ වියදමින් රෝහල පවත්වාගෙන යන  අතරේ ලාබය නෙවිල් ප්‍රනාන්දුගේ සාක්කුවට වැටෙන ලෙසය. එපමණක් නොව පෞද්ගලික අධ්‍යාපනයට සමාජයෙන් එල්ල වූ විරෝධතාවට පිලිතුරක් ලෙස ඉදිරිපත් කලේ සයිටම් හොර කඩය කොටස් , වෙළඳ පලේ විකුණන බවය. රජය සිතා සිටිනුයේ එක්කෝ මේ රටේ ජනතාව අමු මෝඩයන් පිරිසක් බවයි. නො එසේනම් රජය කරවන්නේ කිසිත් නොතේරෙන අමුම ගොන් මැට්ටන් පිරිසකි.පිස්සන් ‍රැලකි.

නෙවිල් ප්‍රනාන්දු නම් තක්කඩි වෙලෙන්දාගේ අධ්‍යාපන කඩය ආරක්ෂා කිරීම සඳහා මොවුන්  මේ තරම් පිලිකුල් සහගත ලෙස., අමන ලෙස  හැසිරෙන්නේ මන්ද?

මෙය නිසැකවම සයිටම් හොර උපාධි කඩය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය වර්තමාන රජයේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා වූ වැඩ පිලිවෙල ආරක්ෂා කිරීම හා බැඳුනු දෙයකි. සයිටම් පරාජය යනු තම අධ්‍යාපන වෙලඳාම් කරණයේ පරාජයයි. සයිටම් කඩයේ ප්‍රමිතිය රජයේ වෛද්‍ය විද්‍යාල වලටත් වඩා උසස් යැයි ඊනියා  උසස් අධ්‍යාපන ඇමති කියන්නේ ඒ නිසාය. පෞද්ගලික විශ්ව විද්‍යාල හා බැඳුනු අධික ලාභය තුලින් රජයේ විශ්ව විද්‍යාල පද්ධතියේ මානව සම්පත සූරාගෙන ඒවා වැසී යන තත්වයට පත් කිරීම මොවුන්ගේ අරමුණක් බව නිසැකය. රජයේ විශ්ව විද්‍යාල මුදල් හිඟ කමින් පීඩා විඳිත්දී සයිටමයට මිලියන සිය ගණන් ආධාර දෙන්නේත් , පාඩු පිට දුවන රෝහල් රජයට පවරා ගන්නේත් ඒ සඳහාමය.

නිදහස් අධ්‍යාපනය , වනසා දමන මේ කුමන්ත්‍රණය, මේ උමතුව පරාජය කළ යුතුය. එය ,නිදහස් අධ්‍යාපනයෙන් පල ලැබු මෙරට සියලු වෘත්තිකයන්ගේ, බුද්ධිමතුන්ගේ අද  දවසේ අනිවාර්ය වගකීමයි. ඒ වෙනුවෙන් අපගේ සියලු බේද හැර දා එක් විය යුතුය. එක්ව සටන් කළ යුතුය. මේ කූට අධ්‍යාපන වෙලෙන්දන් අවසාන වශයෙන්ම පරාජය කළ යුතුය. එම වගකීම තවත් පරම්පරාවකට පැවරිය නොහැක.