Tuesday, May 23, 2017

සයිටම් විරෝධී අරගලය හා අප එක් විය යුත්තේ ඇයි





ලාංකීය ජනතාව හෙට දිනයේ ජීවත් වන ස්වරූපය අද දවසේ තීන්දු කරන තීරණාත්මක සාධකය බවට දැන් පත් ව ඇත්තේ සයිටම් විරෝධී අරගලයයි. එහෙයින්ම එය වඩා ශක්තිමත් කිරීමේ කිරීමේ කටයුත්ත කිසිසේත්ම පමා කළ නොහැක. සයිටම් විරෝධී අරගලයේ ජයග්‍රහණය යනු වෙන කිසිවක්ම නොව ,එම ආයතනය අහෝසි කිරීම හෝ රජයට පවරා ගැනීම මගින් නිදහස් අධ්‍යාපනයේ අයිතිය ජනතාවට තහවුරු කිරීමයි.වසර ගණනාවක් පුරා අනවරත සයිටම් විරෝධී අරගලයක නිරතවන ශිෂ්‍ය ව්‍යාපාරය ,දැන් එය ලාංකීය ජනතාවගේ ඇස් අරවන පොදු අරගලයක් බවට පත් කර ඇත,මෙම අරගලය ජයග්‍රහණය දක්වා ‍රැගෙන යාම මේ වටා එක් වෙමින් සිටින සියලු බලවේග වල ප්‍රමුඛතම කාර්යය බවට පත් වී ඇත.

මෙය තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හෝ එහි ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් හෝ නොවේ. මෙය නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය යන ක්ෂේත්‍ර විකුණා දැමීම සඳහා මෙරට බලයට පත් සියලු ආණ්ඩු  විසින් කරගෙන යනු ලබන දීර්ඝ කාලීන ක්‍රියාවලියක එක් තීරණාත්මක සන්ධිස්ථානයකි.මෙම දීර්ඝ පුද්ගලීකරණ ක්‍රියාවලියේදී ඊට අවශ්‍ය වන මතවාදය සමාජය තුල වංචාකාරිව ස්ථාපිත කිරීමේ ආණ්ඩුවේ කූඨ  දේශපාලන ක්‍රියාවක තීරණාත්මක අවස්ථාවකට අපි මුහුණ දෙමින් සිටිමු.මෙය ව්‍යාජ අර්ථකථනවලට  ලක් කොට ජනතාවගේ අවධානය වෙනත් පැතිවලට හැරවීමට ගන්නා උත්සාහයන්ට අපි නො‍රැවටෙමු.

ආර්ථික වශයෙන් වරප්‍රසාදිත සුළු ජනගහන ස්ථරයක  ධනය ආරක්ෂා කරන ආණ්ඩුව රටේ ආර්ථික යාන්ත්‍රණයෙන් එලියට විසිවන මිලියන ගණනක් අවවරප්‍රසාදිත ජනයාගේ ආරක්ෂාව සහතික කරන අවම වගකීම් වලින් පවා පැන යාමට දරන නිර්ලජ්ජිත උත්සාහයක් මෙයින් ගම්‍ය වේ. තමන් වෙළී සිටින ආර්ථික අර්බුදයෙන් ගැලවීමට මහජනයා බිල්ලට තියන ආණ්ඩුව අනුගමනය කරමින් සිටින්නේ ලෝකයේ බොහෝ රටවල මහජනයා මත විනාශකාරි ප්‍රතිපල ඇති කළ ආර්ථික ප්‍රතිපත්තියකි.ඉතිරිව ඇති සීමිත රාජ්‍ය ආයතන දුර්වල කොට විකුණා දැමීම , නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වැනි මිලියන ගණනක් වන දරිද්‍රතාවෙන් බැට කන ජනයාගේ අතවශ්‍ය සේවා හැකිතාක්  විකුණා දැමීම මෙම ප්‍රතිපත්තියේ මූලික පියවරයන්ය.දූෂිත වංචාකාරි ආයතනයක් වන සයිටම් ආයතනය වෙනුවෙන් ආණ්ඩුව මරාගෙන මැරෙන ප්‍රතිපත්තියක සිට ක්‍රියාත්මක වන්නේ ඒ නිසාය. සියල්ල විකුණා දැමූ පසු වෙළඳපොලේ ක්‍රියාත්මක වන ඉල්ලුම හා සැපයුම පිළිබඳ න්‍යාය නමැති අරුම පුදුම න්‍යායකින් ශ්‍රී ලංකාව ස්ථීට වශයෙන්ම සමෘද්ධිමත් වන බවට ගල් පැලෙන බොරු කියන්නේද ඒ නිසාය.


පසුගිය දශක කීපයක් තිස්සේ අධ්‍යාපනය ,සෞඛ්‍ය වැනි අති මූලික සේවාවල පවා සැලකිය යුතු කොටසක් සැඟවුණු හැඩ රටාවකින්  ඉබේම මෙන් පුද්ගලීකරණය වන්නට ආණ්ඩු විසින් කල්පනාකාරිව ඉඩ හැර ඇත. අලුතින් තබන පුද්ගලීකරණ පියවරයයන් කපටි ආකාරයකට සාධාරණීකරණය කරන්නට මෙතෙක් සිදුව ඇති පුද්ගලීකරණය ආණ්ඩුව විසින් යොදා ගනිමින් සිටී. මේ මොහොතේ සිදු කරන අයුක්තිය පෙර සිට කරන ලද අයුක්තිසහගහත ක්‍රියාවලීන් මගින් යුක්තිසහගත බවට පත් වන්නේ නැත.

අරගලයකදී සිදුවන නොවැලක්විය හැකි සිදු වීම වලට මුවා වී ,සිදු වෙමින් පවතින  සමාජ අසාධාරණය නොදැකිය යුතු දෙයක් ලෙස සිතන අයට අර්බුදයේ හේතුවත් අරගලයේ අරමුණත් පැහැදිලිව වටහා දීම සඳහා ඉදිරියට පැමිණිය යුතුම වූ මොහොතක අප පැමිණ සිටිමු. මේ දක්වා ධෛර්ය සම්පන්න හා ආත්ම පරිත්‍යාගශීලී අරගලයක යෙදී සිටින සිසුනුත් , අලුතින් සටනට එක්වෙමින් සිටින වැඩ කරන ජනතාවත් ඔවුන් සමග උරෙන් උර ගැටෙමින් සහය දෙන දේශපාලන හා සමාජ බලවේගත් සමග එක පෙලට සිටගන්නට අප තීන්දු කළේ ඒ නිසාය.

නිදහස් අධ්‍යාපන උදෙසා වෘත්තීයවේදින් වන අප සියලු පක්ෂ හා පාට බේදවලින් තොරව නිදහස් අධ්‍යාපනයේ අයිතිය සු‍රැකීම අපගේද වගකීමක් බව අවබෝද කරගෙන සිටිමු. නිදහස් අධ්‍යාපනය හරහා වඩාත් හොඳ වරප්‍රසාද ලබා ගත් ඇතැම් පිරිස් පවා ප්‍රමිතිගත පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳ කරුණට කැමත්තක් දක්වන බව තවමත් පෙනෙන්නට තිබේ. ඇති හැකි අයගේ අධ්‍යාපන අයිතිය නැති වන බවට බොරු කියමින් ඊට මුවා වී නැති බැරි අයගේ අධ්‍යාපන අයිතිය නැති කර දමන තැනට පත් වීමට තරම් මේ රටේ උගත් හා බුද්ධිමත් යැයි කියා ගන්නා ඇතැමුන් චින්තනමය වශයෙන් දුර්වල හා ප්‍රතිගාමී වී තිබේ. එවන් මොහොතක උගත් වෘත්තිකයන් වන අප හට නිදහස් අධ්‍යාපනය සු‍රැකීමට ඇති කාර්යයන් සයිටම් සටනට පමණක් සීමා කිරීමට නොසිතමු. නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය ජනතාව සතු අයිතියකි. එය ඔවුන්ගෙන් උදුරා ගන්නට කිසිවෙකුටත් අයිතියක් නැත.


                                  සයිටම් පරාජය කරමු
          නිදහස් අධ්‍යාපන අයිතිය ‍රැක ගැනීම සඳහා  පෙළ ගැසෙමු

                                 එක්ව සටන් වදිමු

               ---- නිදහස් අධ්‍යාපනය උදෙසා වෘත්තීයවේදින්------
                                   Professionals for Free Education



No comments:

Post a Comment