Wednesday, June 14, 2017

සයිටමයේ අයිටම්




සයිටම් නරක එහි ප්‍රමිතිය අඩු  නිසා හෝ නැති නිසා යැයි කීම බොළඳ හා  ඊටත් වැඩියෙන් කුහක තර්කයකි. ඊනියා ප්‍රමිතියක් තිබුණත් සයිටමයට  එකඟ විය නොහැක.

 මක් නිසා ද යත් එයින් අප නිදහස් අධ්‍යාපනය යැයි හඳුනා ගනු ලබන දෙය විනාශ කර දමන බැවිනි. සයිටම් මුදලාලි නොහොත් නෙවිල් ප්‍රනාන්දු යනු විශ්ව විද්‍යාලයක් ඇරඹීමට සුදුසු විද්‍යාර්ථියෙක් නොව කූට වෙලෙ‍ඳෙක් වන බැවිනි. සයිටමය යනු තරුණයන්ගේ සිහින ගසා කෑමට සාදා ගත් කෙමණකි. එම කෙමණට අසුවන උන් කුඩමසුන්  සේ විනාශ ය කරා යති. වෙනසකට ඇත්තේ උන් වෙදුන් වී රටේ ජනතාවත් සමගම විනාශයට යාමට තැත් කිරීමයි.
 
ප්‍රමිතිය ගැන කතා කිරීම අමන කමකි.මක් නිසාද යත් සයිටම් වාදින්ම එයට  ඉතා හොඳ පිළිතුරක් දෙන බැවිනි. ඔවුන් කියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල උගැන්වූ මහාචාර්යවරුන් 14ක් හෝ 15ක් දැනටමත් සයිටම් හි සේවය  කරන බවත් සමහර රජයේ වෛද්‍ය විද්‍යාලවල මහාචාර්යවරුන් ඇත්තේ ඊට අඩුවෙන් බවත්ය. සයිටම් ආයතනය නිදහස් අධ්‍යාපනයට එල්ල කරන නියම තර්ජනය ඇත්තේ එහිය.තම මුදල් බලය යොදවමින් රාජ්‍ය විශ්ව විද්‍යාලවල සේවය කරන ඇදුරන් එයට ඇද ගැනීමය. මෙය වඩාත් උග්‍රවන්නේ රජයේ සරසවි ඇදුරන්ට අඩු වැ‍ටුප් හා ඉතා අයපත් කොන්දේසි යටතේ සේවය කිරීමට සිදුව ඇති නිසා සයිටම් මුදලාලිලාට ඉතා පහසුවෙන් ඔවුන් ඇද ගත හැකි  වීමය. .

 එසේම රජය ක්‍රම ක්‍රමයෙන් අධ්‍යාපනයට යොදවන මුදල් කප්පාදු කරමින් පෞද්ගලික විශ්ව විද්‍යාල දියුණු කිරීමට මිලියන සිය ගණන් කප්පම්  දෙන තත්වයක් තුල මෙය තවත් උග්‍ර වනු ඇත.
 
ඉතා විශාල ආයෝජන සහිත පෞද්ගලික විශ්වවිද්‍යාල ඉදිරියේදී ගෙන ඒමට රජය දරණ උත්සාහයේ අනිවාර්ය ප්‍රතිපලය වනුයේ රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය ක්‍රමයෙන් විනාශ වීමය. පාලකයින්ට අවශ්‍ය වී ඇත්තේද එයයි.
 
මේ සයිටම් විරෝධී සටන , හුදු නෙවිල් ප්‍රනාන්දු මුදලාලිට එරෙහි සටනක් නොව නිදහස් අධ්‍යාපනය ‍රැක ගැනීමේ සටනක් කර ගත යුත්තේ ඒ නිසාය.

No comments:

Post a Comment